අප ගැන


ශ්‍රී ලංකාවේ වැඩිම ජන ඝනත්වයන් සහිත පළාත වන බස්නාහිර පළාත තුළ ජීවත්වන මිලියන හයකට ආසන්න ජනතාව උදෙසා ප්‍රමාණාත්මක හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ව්‍යාප්ත කිරීමත්, රෝග නිවාරණ සේවා ශක්තිමත් කිරීමත්, දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කිරීමත්, දේශීය ඖෂධ නිෂ්පාදනය හා ඔසු වගාව වැඩි දියුණු කිරීමත්, දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට දේශීය හා විදේශීය ජනතාව නැඹුරු කිරීමත්, ජ්‍යෙෂ්ඨ පුරවැසින්ගේ රැකවරණය හා සුරක්ෂිතභාවය සහතික කිරීමත්, අයාලේ ගිය කාන්තාවන් පුනරුත්තාපනය කිරීම හා ඔවුන් යහපත් කාන්තාවන් ලෙස සමාජගත කිරීම හා විවිධ හේතූන් මත අසරණභාවයට පත්වූවන්ට සමාජ සුබසාධන සේවාවන් සැලසීමත්, අනාථභාවයන්ට හා විවිධ අපයෝජනයන්ට ලක් වූ දරුවන් යහමගට යොමු කර ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමත්, කාන්තාවන්ට සමාජ ආර්ථික සංවර්ධනය සඳහා සවිබල ගැන්වීමට අදාළ කාර්යයන් ක්‍රියාත්මක කිරීමත් මගින් බස්නාහිර පළාතේ ජනතාව‍ගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ගෙනඒම අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණු වේ. මේ සඳහා විවිධ වැඩසටහන් වර්ෂය පුරා ක්‍රියාත්මක කරමින් පවතී.

අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රධාන අංශ:

  1. ආයතන අංශය
  2. ගිණුම් අංශය
  3. සැලසුම් අංශය

දැක්ම

"සැමට සුවය හා රැකවරණය"

මෙහෙවර

"මහජනතාව කේන්ද්‍ර කරගත් සමීප, ගුණාත්මක, ඵලදායී හා පුළුල් මහජන ප්‍රවේශයක් සහිතව සැමට සුවය හා රැකවරණය ලබා දීම සඳහා බස්නාහිර පළාත් සෞඛ්‍ය , දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා හා කාන්තා කටයුතු දෙපාර්තමේන්තුවල ප්‍රතිපත්තිමය හා නෛතික පදනම ශක්තිමත් කරමින් නවීන තාක්ෂණය මුසු කරගත්, මහජන අපේක්ෂා ඉටු කරන සේවා සම්පාදනයක් සහතික කිරීම."

අරමුණු

  • කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් මහජනතාව වෙත ලබා දීම තුළින් බස්නාහිර පළාත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය උසස් කිරීම.
  • දේශිය වෛද්‍ය ක්‍රමය සඳහා දේශීය හා විදේශීය ජනතාව නැඹුරු කිරිම.
  • කාන්තාවන් සවිබල ගැන්වීම තුළින් ඔවුන් දේශීය ශ්‍රම බලකායට ඇතුළත් කර ගැනීම හා පවුලේ ආර්ථිකය වැඩි දියුණු කිරීම.
  • සමාජයේ අසරණ භාවයට පත්වූ පුද්ගලයන් සඳහා රැකවරණය සැලසීම තුළින් සමාජ ගැටළු අවම කිරීම.
  • අනාථ හා අපයෝජනයට ලක්වූ දරුවන් යහමගට ගැනීමෙන් සමාජ ගැටළු අවම කිරීම.

ප්‍රධාන කාර්යයන්

  • රෝග ප්‍රතිකාර හා රෝග නිවාරණ අංශයන් කාර්යක්ෂමව පවත්වාගෙන යාම තුළින් ප්‍රමාණාත්මක හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ව්‍යාප්ත කිරීම.
  • දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කිරීම හා ආයතනික සේවා පුළුල් කිරීමෙන් ඖෂධ නිෂ්පාදනය හා ඔසු වගාව වැඩි දියුණු කිරීම, දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට දේශීය හා විදේශීය ජනතාව නැඹුරු කිරීම.
  • ජ්‍යෙෂ්ඨ පුරවැසින්ගේ රැකවරණය හා සුරක්ෂිතභාවය සහතික කිරීම, අයාලේ ගිය කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම හා ඔවුන් යහපත් කාන්තාවන් ලෙස සමාජගත කිරීම හා විවිධ හේතූන් මත අසරණභාවයට පත් වූවන්ට මූල්‍යමය හා ද්‍රව්‍ය ආධාර වලින් සහන සැලසීමෙන් සමාජ සුබසාධන සේවාවන් ව්‍යාප්ත කිරීම.
  • අනාථභාවයන්ට හා විවිධ අපයෝජනයන්ට ලක් වූ දරුවන් යහමගට යොමු කර ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ළමාරක්ෂක සේවාවන් ව්‍යාප්ත කිරීම.
  • කාන්තාවන්ගේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීම, උපදේශනය සහිත තාක්ෂණය හඳුන්වා දීම හා සවිබල ගැන්වීමට අදාළ කාර්යයන් ක්‍රියාත්මක කිරීම